Welcome to AIS UOK Blog! 🎉

Give it a search and experience our new blog.

You are our ... explorer!

සාමාන්‍ය දිනයක සැඟවී ඇති අගය

ජීවිතයේ විශාල ඉලක්ක හා විශාල අරමුණු හඹා යන සමාජයක අප ජීවත් වේ. රැකියාවක දී ලැබෙන උසස් වීමක්, තරඟයකින් අත්වන ජයක්, විදේශ සංචාරයක් මෙන්ම තවත් බොහෝ විශාල අරමුණු පසුපස දිව යන සමාජ රටාවක් අපට දැක ගත හැකි ය. එවැනි අවස්ථා හේතුවෙන් අප අමන්දානන්දයට පත් වේ. කුඩා කල සිටම අපව ද හුරු කොට ඇත්තේ එවන් වූ විශාල ඉලක්කයන් හඹා යෑමෙන් පමණක් ජීවිතය ජය ගැනීමට හැකි බව විශ්වාස කිරීමටයි. මෙලෙස මිනිසුන් විශාල ජයග්‍රහණ, විශාල අවස්ථාවන්, විශාල වෙනස්කම් පසු පස හඹා ගිය ද සෑම ජයග්‍රහණයකම අඩිතාලම වන්නේ කුඩා පියවරයන් ය. ජීවිතය සැදී ඇත්තේ එවන් වූ විශාල කඩයිම්වලින් පමණක් නොව ඉතා කුඩා ඉලක්කයන් තුළය. විටෙක එය හුදෙක් ඉලක්කයක් පමණක් නොවේ. එය ඉතා යහපත් ක්‍රියාවක්, සිතුවිල්ලක් මෙන්ම තවත් කෙනෙකුගේ සිත නිවන කතා බහක් හෝ විය හැකි ය. ලොව සියල්ලන්ම හැල්මේ දුවමින් ගෙවන කාර්ය බහුල ජීවිතයෙහි කෙනෙකුගේ හෝ සිතට සැනසීම ළඟා කර දීමට ඔබට හැකි නම් එය ඔබේ දිවියට සැනසීම ගෙන දේ. ආගන්තුක වුව ද කෙනෙකු දෙස සිනා මුසු මුහුණින් බැලීම, සුළු දෙයට පවා කෘතඥ වීම, අසීරු අවස්ථාවක කෙනෙකුට සවන් දීම යනාදිය ඉතා සුළු දෑ ලෙසින් පෙනුන ද එයින් කෙනෙකුගේ දවසම වුව ද වෙනස් කිරීමට හැකි ය. සමාජයක අගය, එහි වටිනාකම ඉස්මතු වන්නේ විශාල අභියෝග හඹා ගොස් ඒවා ඉටු කර ගැනීම පසුපස පමණක් නොව තවත් කෙනෙකුට දිරිය දී, වැටෙන්නට නොදී අල්ලා ගන්නා තැනදී ය. මෙවැනි සුළු, සාමාන්‍ය, මෙන්ම නිතර සිදු වන දේ මඟින් සමාජයක සැඟවී තිබෙන්නා වූ සුන්දරත්වය මතු වේ.

මිනිසා තම ඉලක්කයන් කරා නිශ්චිතවම යා යුතු ය. තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට නම් විශාල ඉලක්කයන් මිනිසා සතුව නිසැකවම තිබිය යුතු ය. එනමුත් කලාතුරකින් ලැබෙන්නා වූ සුවිශේෂ අවස්ථාවන්ට පමණක් අපගේ සතුට සීමා කළහොත්, ජීවිතයෙහි ඉතිරි අනූනවයක පමණ කාල පරිච්ඡේදයම අපට ගත කිරීමට සිදු වන්නේ ඉතාමත් නීරස කාල පරිච්ඡේදයක් ලෙසින් ය. ජීවිතයේ සැබෑ තෘප්තිය ලැබෙන්නේ විශාල ජයග්‍රහණ ලැබෙන තාක් බලා සිටීමෙන් නොව මේ මොහොතේ ජීවිතය විඳීම තුළ ය. විශාල ජයග්‍රහණයන් ජීවිතයට වැදගත් වුවත් අර්ථවත් දිවියකට එකම මග පාදන්නේ එය නොවන බව වටහා ගැනීම අත්‍යවශ්‍ය වේ.

සතුට පිළිබඳව සිදු කර ඇති ඇති විද්‍යාත්මක පර්යේෂණවලින් පවා තහවුරු වී ඇත්තේ, කලාතුරකින් ලැබෙන විශාල සතුටකට වඩා දිනපතා නිතර නිතර ලැබෙන කුඩා සතුටුදායක අත්දැකීම් මානසික සුවයට වඩාත් හිතකර බවයි. ඉතා හොඳින් පිළියෙල කරගත් කෝපි කෝප්පයක් රසවිඳීම, සේවා ස්ථානයේ මිතුරෙකු සමඟ හදවතින්ම සිනාසීම, හෝ සුන්දර හිරු බැස යෑමක් දෙස බලා සිටීම වැනි කුඩා දේවල් මඟින්, මහා ජයග්‍රහණ නොමැතිව වුවද ජීවිතයට ශක්තිමත් මානසික පදනමක් ලබාදෙයි. විශාල ජයග්‍රහණ පවා හඹා යාමට මූලික වශයෙන් මානසික සුවය අත්‍යවශ්‍ය වේ. මෙවන් වූ සුළු දෑ තුළින් මානසික තෘප්තිය අපට ළඟා කර ගත හැකිය.

අප බොහෝ විට ආදරය පෙන්වීමට හෝ සාර්ථකත්වය ලබා ගැනීමට විශාල අවස්ථාවන් එනතුරු බලා සිටියත්, සැබෑ ජීවිතයේ බෙහෙවින් කුඩා අවධියක සිට එය ආරම්භ වේ. සබඳතාවල දී, විශ්වාසය සහ සමීප භාවය ගොඩ නැඟෙන්නේ මිල අධික තෑගි හෝ විශාල සැමරුම්වලින් නොවේ. ඒවා නිර්මාණය වන්නේ දෛනික ජීවිතයේ නිහඬ අවස්ථාවන් තුළයි. නොඉල්ලාම තම සහකරුට හෝ සහකාරියට තේ කෝප්පයක් සාදා දීම, මිතුරෙකුගේ සුවදුක් විමසා කෙටි පණිවිඩයක් යැවීම, හෝ ඔබේ දරුවා පවසන දේට අවධානයෙන් සවන් දීම වැනි කුඩා ආදරණීය පියවරවල්, දුෂ්කර කාලවලදී පවා සබඳතා ශක්තිමත්ව පවත්වා ගැනීමට උදවු වේ.

පුද්ගලික සාර්ථකත්වය සඳහා ද මෙම රීතිය එලෙසින්ම බලපායි. සෑම මහා ජයග්‍රහණයක් පිටුපසම දිනපතා ගන්නා ලද කුඩා, නොපෙනෙන තීරණ රාශියක් පවතී. දිනකට එක පිටුව බැගින් ලිවීමෙන් පොතක් නිර්මාණය කළ හැකිය. සතියකට සුළු මුදලක් ඉතිරි කිරීමෙන් මූල්‍ය සුරක්ෂිතතාව ගොඩ නඟා ගත හැකිය. විශාල ජයග්‍රහණ යනු දිනපතා පුහුණු වූ කුඩා, රහසිගත විනයක ප්‍රතිඵල මිස දිනක් ඇතුළත ළඟා කර ගන්නා ඉලක්ක නොවේ.

විශාල ඉලක්ක අපට ජීවිතයේ ඉදිරියට යාමට මඟ පෙන්වන නමුත්, ජීවිතය සැබවින්ම අර්ථවත් කරන්නේ අප මුහුණ දෙන පුංචි දේවල්ය. සිනාසීම සඳහා රැකියාවේ උසස්වීමක් ලැබෙනතුරු හෝ සැනසීමෙන් සිටීම සඳහා විශ්‍රාම යන තුරු හෝ බලා නොසිටින්න.

ඔබේ දෘෂ්ටිකෝණය වෙනස් කිරීමෙන්, වඩා හොඳ හෙටක් වෙනුවෙන් අද දිනය කැප කළ යුතු පියගැට පෙළක් පමණක් ලෙස සැලකීම ඔබ නතර කරනු ඇත. ලොකු ජයග්‍රහණ මඟින් ජීවිතයට විශේෂ වටිනාකමක් එක් කරනවා විය හැක, නමුත් අපේ ජීවිත කතාව ලියැවෙන්නේ අප ගත කරන මෙවැනි නිහඬ, සුන්දර අවස්ථා වලිනි.

පියගැටපෙළක් නැගීමට නම් පඩියෙන් පඩිය පියවර තබා ඉදිරියට යා යුතුය. නිවැරදිව පියගැටපෙළ නැගිය හැක්කේ එවිටයි.

----------------------------------------------------------------------------------------------------------------------

Article by: F. Rukaiya Riyas
Faculty of Humanities

Previous Post Next Post